මට හරිම පාළුයි, බෝනික්කෝ!!!

කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. ආතක් පාතක් නැතුව පටන් ගත්තොත්, කතාව පටන් ගන්නේ මෙහෙමයි.

වෙන හැම පොඩි ළමයෙක් වගේම, මමත් පොඩි කාලේ ආසා කරා බෝණික්කෙක් අයිති කර ගන්න. කොහොම වුනත්, බෝණික්කෙක් අරං දෙන්න කියලා අම්මාට කරදර කරාට වැඩක් වෙන්නේ නැති විත්තිය ඒ කාලෙත් මම දැනං හිටියා. ඒත් මගේ වාසනාවට, කොහොමින් හරි බෝණික්කෙක් ලැබුණා. ඒත් ඒ බෝණික්කා,  මම බලාපොරොත්තු වුණු, සුදු පාට, කොණ්ඩේ ක්‍රේල්, අතපය මහත, බෝලයක් වගේ ලස්සන  බෝණික්කෙක් නෙමෙයි. ලොකු අම්මාගේ දුවට එපාවුනු නිසා, තෑග්ගක් විධියට මට  ඒ බෝනික්කාගේ අයිතිය මාරු වුනා. මේ බෝණික්කා හොදටෝම කළුපාට, ස්ට්‍රේට් කළු කොන්ඩයක් උරහිස ගාවට තිබුණු, කෙට්ටුම කෙට්ටු, දිගටි අතපය තිබුණු, ඒත් ලස්සන ඇස් දෙකක් එක්ක දිගටි මූණක් තිබුණු කළු බෝණික්කෙක්. මුලදී කළුපාට නිසා පොඩි අකමැත්තක් තිබුනට, එදා ඉදන් මගේ ජීවිතේ ගොඩාක් කාලයක් තිස්සේ, හැම දෙයක්ම, හැම දුකක්ම, හැම සැපක්ම බෙදා ගන්න හිටියේ මේ බෝණික්කා. කාලයත් එක්ක, මට බෝනික්කා හරිම ලස්සනට පේන්න ගත්තා. ඊටත් ඒ බෝණික්කාගේ අනිත් බෝණික්කොන්ට වැඩිය විශේෂතාත් තිබුනා. එයාගේ අතපය එහෙම හරිම සංවෙදී විධියට මනුස්සයෙකුගේ වගේ නිර්මාණය කරලා තිබ්බේ. අතේ ඇඟිලි විශේෂයෙන්ම අපේ වගේ හරිම මෘදු විධියට හදලා තිබුනේ.  ගෙදර අනිත් කට්ටියත් එක්ක වැඩි ඇයි හොදැංයියක් නොතිබුනු මට, හිත සනසවාගන්න කතාකරන්න හිටපු එකම කෙනාත් මේ කළු බෝනික්කා විතරයි. 

මම ටික ටික ලොකු වෙනකොට බෝණික්කා  මගේ හැමදේම දැනගෙන හිටියා. බෝණික්කාත් එක්ක හැමදාම රෑට, මම ඔහේ තොරතෝංචියක් නැතුව කියෙව්වා. බෝණික්කා  සද්ධයක් නැතුව, හැමදේම අහං හිටියා. බෝණික්කාට වැඩියෙන්ම  අහන්න වුනේ මගේ දුක. ඔය අතරේ  මහා කුණාටු හමපු කාලත් තිබුණා. මම අත්වල කරගැට පුරවගෙන වැඩකරපු  කාලේ වගේම, නිදිමරාගෙන පාඩම් කරපු කාලවලත් බෝණික්කා මගේ ලඟට වෙලා ඇස් ලොකු කරගෙන බලං හිටියා. මට හිටියේ බෝණික්කා විතරමයි.

ටික ටික ලොකු වෙලා, රස්සාවක් කරන්න කොළඹ නතර වෙන්න ආවමත්, බෝණික්කා මාත් එක්ක කොළඹ ආවා. බෝඩිමේ ඇදේ පැත්තකට වෙලා, කිසිම වදයක් නොවී, බෝණික්කා මගේ ලඟට වෙලා හිටියා. ඒත් හදිස්සියෙම අවුරුදු ගානකට රට යන්න සිද්ධ වුනාම, මගේ බෝඩිමේ බඩුත් එක්ක බෝණික්කාට අපේ මහ ගෙදර යන්න වුනා. ඒක වුනේ මගේ වරදින්ම තමයි. ඒත්, මම බෝණික්කාව මඟ ඇරියා නෙමෙයි. රට යන්න ඉස්සරින්දා, බෝඩීමේ තිබුණු බඩු ටික ගෙදර යවා ගන්න ක්‍රමයක් හොය හොය ඉද්දී, යාළුවෙකුගේ වාහනේක, බඩු ටික ගෙදර යවා ගන්න ලැබුනා. හදිස්සිය වැඩි කමට, බෝඩිමේ තිබුණු බඩු, කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කාඩ්බෝඩ් පෙට්ටි වලට දාද්දී, නොදැනුවත් කමින්, බඩු ගොඩත් එක්ක බෝණික්කාත් අපේ ගෙදර ගියා. මම එදා රෑ, ඒක ගැන දැනගෙන දුක්වෙනකොට, හැමෝම බෝඩිමේ යාළුවෝ කිව්වේ, පිටරටදී කළු බෝණික්කා වෙනුවට, ලස්සන සුදු බෝණික්කෙක් ලැබෙයි කියලායි. ඒත් මට ඒක එහෙම වුනේ නෑ. මට ඕනේ වුනේ, දිගටි මූණක් තියෙන,  ලස්සන ඇස් තියෙන, හීනි අතපය තියෙන, උස කළු බෝණික්කෙක්නේ. එහේ කොයින්ද කළු බෝණික්කෝ???  

කොහොම වුනත්, අවුරුදු ගානකට පස්සේ, ආයිත්  ලංකාවට ඇවිත් බෝණික්කා ගැන හොයනකොට තමයි දැනගත්තේ, අම්මා මගේ ඇදුම්, පොත්පත් ගමේ ළමයින්ට  දෙනකොට බෝණික්කාත් දන් දීලා විත්තිය . මට මගේ බෝණික්කා සදහටම නැති උනේ එහෙමයි. බෝණික්කා නැති වුනත් හරි, මට හිටියේ මම විතරමයි. මට ඒ තරමටම වෙන කෙනෙකුට ලං වෙන්න දෙගිඩියාවක් තිබුණා.

ඔහොම ඔහොම ගිහිං, බෝණික්කාගේ මතකයත් ටික ටික දියාරු වෙන්න ගත්තා. කළු බෝණික්කා හිටියේ මගේ හිතේ විතරයි. මගේ ජීවිතේට එක එක කාල වලදී, එක එක්කෙනා ආවා ගියා. කාටවත් බෝනික්කා ගැන කියන්න තරම් ඕනේ කමක් තිබුනෙත් නෑ. එහෙම ආව ගිය අතරේ බෝණික්කා ගැන කියන්න තරම් බොක්කට වැදුනු කෙනෙක් හිටියෙත් නැහැ. කොහොම වුනත් කළු බෝණික්කගේ මතකය ආපහු ආවේ, බෝණික්කාගේ හැඩහුරුකම් තියෙන, කළුපාට පුංචි සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක් නිසා. බෝනික්කාට වඩා වෙනසකට තිබුනේ, බෝණික්කා ගවුම් ඇන්දත්, මෙයා ඇන්දේ හොද පිලිවෙලට ලස්සන සාරී නිසා. හැඩහුරුකම්, ඇස්, කොන්ඩේ, දිගටි අතපය ඔක්කොම නැත්නම් සමානයි.

එකපාරටම නැතිවුනත්, ටික ටික මේ පුංචි සුරංගනාවී මාත් එක්ක යාළු වුනා. යනඑන ගමන්,  මම මේ සුරංගනාවිත් එක්ක ඔහේ  හිතෙන හිතෙන දේවල් කතා කර කර ගියා. වෙන  කට්ටිය ඉස්සරහා කතා කරන්න කම්මැලි මම, වක්කඩේ කැඩුවා වගේ එයා ඉස්සරහ ඔහේ කියෙව්වා. මට ඕනේ උනේ සුරංගනාවී එක්ක කතා කරන්න විතරයි. සමහර දවසට, එයා ලඟ ඉන්නකොට, මට පොතක් ලියන්න තරම් දේවල් ඔළුවට එන්න පටන් ගන්නවා. ඒ කොහොම උනත් මම බෝණික්කා ගැන කියන්න තරම්නම් ඉක්මන් උනේ නෑ. ඒත්, දැන් නම් හිතෙනවා, ඒක නොකියපු එක කොයිතරම් හොදයිද කියලාත්. ඕවා ඒ කාලේම කිව්වා නම්, මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා ආස්සරේ නවත්වන්නේ ඒ කාලෙමයි. 

කොහොම නමුත්, මට සුරංගනාවී නිසා, මොකද්දෝ වුණා. වැඩට යන්න කම්මැලි කමට හිටපු මම කම්මැලිකම පැත්තකට තියලා, උදෙන්ම නැගිටලා වැඩට ගියා. අනිත් දේවලුත් හොදටම සිද්ධ උනා. මට හිතුනේම, මට මගේ බෝනික්කා ආපහු ලැබුනා කියලා. සුරංගනාවී, බෝනික්කා වගේ පුළුවන්තරම් කාලයක් මාත් එක්ක රැදේවි කියලා මම සතුටෙනුයි හිටියේ. ඒත්, මම දැනගෙන හිටියා සුරංගනාවීට හැමදාම මාත් එක්ක ඉන්න බැරි බව.  සුරංගනාවියෝ උනාම කල වයස ආවම කර කාර බදින්නත් එපැයි. නේද?
 කොහොම වුනත්, අවාසනාවට ගෙවීගෙන ගියේ, මගේ ජීවිතයේ නරකම කාල වකවානුවක්. ගෙදර, ඔෆිස් එකේ, ඕනෙවටත් වඩා මට ප්‍රශ්න ඇතිවෙමින් තිබුනා. හැමදාමත් යන එන ගමන් සුරංගනාවිට කියන්න මගේ ලඟ ඉතුරු වුනේ, මගේ දුක විතරයි. පොතක් ලියන්න තරම් දේවල් හිතට ආවට, කටින් පිටවුනේ දුකම විතරයි. ‘කවුද කැමති වෙන යාළුවොත් එක්ක හිනාවෙවී යන්න පුළුවන්කම තියෙද්දී, පිට කෙනෙක්ගේ දුක අහන් ඉන්න’. සුරංගණාවිටත් එහෙම හිතෙන්න ඇති. සුරංගණාවී ටිකෙන් ටික මගෙන් මග ඇරියා.  මං  සුරංගනාවිට ආයාසයෙන් යන්න දුන්නා.

කොහොම උනත්, මං ඔහේ සුපුරුදු විධියටම, තනියම යන්න පුරුදු උනා. ඇත්තම කිව්වොත්, තනියම යන්න එන්න පුරුදු වෙන්න දෙයක් තිබුනෙත් නෑ, මං හැමදාමත් ගියේ තනියම තමයි. ඒත් එක වෙලාවකට, සුරංගනාවී මතක් උනාම උගුර හිරවෙලා, කදුළු බිංදු දෝරේ ගලාගෙන එන්න පටන් ගන්නකොට, ඉවසා ගන්න බැරි තරම් දුකක් හිතට දැනෙනවා. ඒවුනත්, සුරංගණාවී වැරදි නෑ කියලා මගේ හිත කියනවා….. සමහර වෙලාවට මගේ කළු බෝනික්කාටත් ඇවිදින්න පුළුවන් උනානම්,  මම ජීවිතේ ජය ගන්න පොර බදින කාලේ, එයාත් මඟදී මාව දාලා යාවි.

කොහොම වුනත්, මම අසාමාන්‍යද කියලා ත් වෙලාවකට හිතෙනවා.  ලෝකේ අනිත් මිනිස්සු වයසට යන්න යන්න පොඩි කාලේ ඇතිවුනු හැඟීම් දැනීම් අමතක කරනවා. ඒත් මට ඒවා  තාමත් හොදට දැනෙනවා. එකම දේ සම්බන්ධයෙන්, දැන් ඇතිවෙන හැඟිමුයි, පොඩි කාලේ ඇතිවුනු හැඟීමුයි අතර වෙනසක් තියෙන්නේ කොහොමද? ඒවා ඔක්කෝම එක නෙමෙයිද? ආදරේ කියන එක එකම දෙයක් ගැන ඇතිවෙනවා නම් මොන වයසේ හිටියත් දැනෙන්නේ එකම විධියට නෙමෙයිද? මට හිතෙන්නේ අනිත් මිනිස්සුන්ට ඕවා හොය හොයා ඉන්නවට වැඩිය වැඩ තියෙනවා. ඒ මිනිස්සුන්ට, ඕක මොකක් උනත් වෙනසක් නෑ..  මට පිස්සු..


හ්ම්….හැම බැදීමක්ම තාවකාලිකයි.  ජීවිතේ කිසිම දෙයක් ස්ථිර නෑ කියලා මම දන්නවා.  
ඒත්,
මට හරිම පාළුයි, මගේ කළු බෝනික්කෝ!
මට පාළුයි,  මගේ සුරංගනාවී!

පුළුවන් කමක් තියේනම් ආපහු එන්න..

0 අදහස් දැක්වූවා.: